ලෝගුව නොමැති උපාධිය


රැයක් දවාලක් නැතුව රටේ ලෝකෙ වෙන දෙයක් දන්නෙ නැතුව පරිගණකයට මුවා වෙලා මගේ වගේ ම මාත් එක්ක වැඩ කරන හැමගෙ ම ආර්ථිකය ගොඩ දාන්න මහන්සි වෙවී ඉන්න කොට, අපේ විශ්වවිද්‍යාලයේ කුලපති තුමා මාරු වෙච්ච බව මම දැන ගත්තේ විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයට යෑම ගැන මිතුරෙක් සමග කතාවක දී.. ඊට පස්සේ මම පොඩ්ඩක් සොයා බැලුවා මේ අලුත් කුලපති තුමාගේ පත් වීම ගැන..

  විශ්ව විද්‍යාලයේ විවිධ පීඨ වලින් නිකුත් කරපු ලිපි වලින් කියවුණේ මේ පත් වීමට තිබුණු අප්‍රසාදයයි. නව කුලපති තුමාට විශ්වවිද්‍යාල අත්දැකීමක් ශිෂ්‍යයෙක් විදිහට හෝ කථිකාචාර්යය කෙනෙකු ලෙස හෝ තිබෙන බවට අන්තර්ජාලයෙන් නම් මට සොයා ගන්න බැරි උනා.. නව කුලපති තුමාට ශාස්ත්‍රීය දැක්මක් හෝ පදනමක් තිබෙන අයෙක් නොවේ ය යන්න කුලපති තුමාගේ පත්වීම ගැන අදහස් විමසන මාධ්‍ය සාකච්ඡාවක් නැරඹූ පසු මට ඒත්තු ගියා.. මෙම පත්වීම ව්‍යවස්ථාවට පටහැණි නොවුනත් නුසුදුසු පුද්ගලයෙක් එම තනතුරට පත් කිරීම ගැනත්, එම තනතුරට තමන් සුදුසු හෝ නුසුදුසු බව නො දැන භාර ගැනීමත් යන කාරණා ගැන මට ඇතිවුනේ දැඩි අප්‍රසාදයක්..
  
උපාධි ප්‍රදානෝත්සවය 18, අලුත් කුලපති තුමා වැඩ භාර ගන්නේ 17. ඒ කියන්නේ උපාධි ප්‍රදානෝත්සවයට එන්නේ අලුත් කුලපති තුමා. අලුත් කුලපති තුමාගෙ පත්වීමට අප්‍රසාදය පෙන්නන්න විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලය නම් උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වෙන්නේ නැති බවට තීරණය වෙලා තිබ්බා.. ශිෂ්‍යයින් විදිහට මේ පත්වීමට සාමකාමී ව, උපාධි ප්‍රදානෝත්සවයට ප්‍රශ්නයක් නොවන විදිහට පත්වීම කෙරෙහි විරෝධතාව පෙන්වන්නේ කොහොමද කියලා මත විචාරයකින් පසුව සියලු දෙනා එකඟ උනේ කළු රිබන් එකකින් විරෝධය සංකේතාත්මක වෙන විදිහට බැඳ ගෙන යන්නයි. ඒ වගේ ම ශිෂ්‍යයින් කුලපති තුමාගෙන් නැතුව උප කුලපති තුමිය අතින් උපාධිය ලබා දෙන්න කියා ඉල්ලීමක් ද කර තිබුණා. මට හිතුනු විදිහට නව කුලපති තුමාගෙන් උපාධිය ගත්තොත් ඔහු ව තනතුරට අප විසින් ම පිළිගන්නවා වෙනවා..

මගේ දෙමාපියන්ගේත් සහෝදරියගේත් සැමියාගේත් අදහස උනේ, උපාධි ප්‍රදානෝත්සවයකින් උපාධිය ගත්තත් නො ගත්තත් ඔවුන්ට මගේ උපාධිය ගැන ඉතා සතුටු බව ත්, ඒ නිසා යම් දිනක කනගාටුවට පත් නොවන ලෙස හිතට එකඟ ව මම ගන්න ඕනෑම තීරණයකට ඔවුන් ද එකඟ බවත් ය.. උපාධි ප්‍රදානෝත්සවය පෝය දවසක යෙදුණු නිසාත් ශිෂ්‍යයන් විසින් උප කුලපති තුමිය අතින් උපාධිය ලබා දෙන මෙන් ඉල්ලා සිටි නිසාත්, උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වී බලන්න මම අන්තිමේ දී තීරණය කළා..

උපාධි ප්‍රදානෝත්සවයට මම ආවෙ දුර ඉඳන්. පමා වුණත් ආච්චිටයි සීයාටයි කතා නො කර යන්න හිත දුන්නේ නෑ.. හරියටම 8ට ආපු නිසා ෆොටෝවත් ගන්න උනේ නෑ.. කෙළින්ම ප්‍රධාන ගොඩනැගිල්ලට ම ඇතුළ් උනා.. එක පාරට ම රිබන් ගොඩක් අතේ තියා ගත්තු සුදු ඇඳ ගත්තු කාන්තාවක් මගේ අතේ තිබ්බ රිබන් එක උදුර ගත්තා.. වෙච්ච දේ මට තේරුණේ ශාලාවේ අසුන් ගත්තයිනුත් පස්සේ.. මට ඇත්තටම තරහක් ඇති උනා මාත් එක්ක ම, ඒ වගේ මගෙන් රිබන් එක උදුරගන්න ඉඩ දීපු එකට.. මාත් එක්ක සිටි තව මිතුරෙක් වැඩිපුර ගෙනාපු රිබන් එකක් මම ඉල්ලන් මගේ අතේ ගැට ගහ ගත්තා.. තවත් මගේ මිතුරෙක් එක්ක කතා කර කර හිටපු තවත් පුද්ගලයෙකුගෙන් මට දැන ගන්න ලැබුණා අලුත් කුලපති තුමා තමයි මීට පෙර දිනයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේ දී උපාධිය ප්‍රධානය කර තියෙන්නේ කියලා.. ඒ මොහොතේ නිවේදනයකුත් ආවා, කුලපති තුමා ඇතුල් උනයින් පස්සේ ශාලාවෙන් එලියට යන්න බැහැයි කියලා.. මට ඒ වෙලේ හිතුණු විදිහට මට තිබ්බේ විකල්ප දෙකයි.. ශාලාවෙන් පිටතට යන එක හරි උපාධි ප්‍රදානය අලුත් කුලපති තුමා අතින් ගන්න උනොත්, එය නොගෙන ඉන්න එක හරි.. මම එහෙම නොගෙන හිටියොත් උත්සවයේ දී ප්‍රශ්නයක් ඇති වෙයි කියලා දෙමාපියනුත් දැනුවත් කරලා මං තීරණය කළා ශාලාවෙන් එලියට එන්න.. ඒත් එක්ක ම මාත් එක්ක මගේ තව මිතුරෙකුත් එලියට ආවා.. එලියට එන කොට බොහෝ දෙනා මගෙන් ඇහුවා පිටවෙන්න හේතුව. මම ඒ හැමෝටම කියුවේ, තනතුරට නුසුදුසු පුද්ගලයෙකුගෙන් උපාධිය ගන්න මගේ තියන අකමැත්තත් ඒක නිහඬව ප්‍රකාශ කරන්න ගෙනාපු රිබන් එක උදුරා ගත්ත නිසාත් මං පිටවී යන බවයි. මගේ මිතුරාට නන් ඕන උනේ ඉක්මනට එතැනින් එන්න.. ඒත් මට ඕන උනේ මම යන හේතුව අහන හැමෝට ම කියන්නයි.

එක්තරා සුදු ඇඳගත්තූ තවත් කෙනෙක් මේ අතරමගදි මුන ගැහුණා.. එතුමා මගෙන් කාරුණිකව ඇසුවා කොහෙද පුතේ යන්නේ කියලා.. මම ආයෙත් මගේ සුපුරුදු උත්තරය ම දුන්නා.. එතුමා මගේ තීරණය වෙනස් කිරීමට විවිධ හේතු ගෙනාවා.. ඒ හැම එකක් ම උනේ මගේ අවුරුදු හතරක කැප කිරීම නිකම්ම මේ විදිහට අපතේ දාන වද කියන එකයි, දෙමාපියන්ට මෙම අවස්ථාව නැති වීම ගැනයි. මට ඒ වෙලේ මතක් උනා අපේ අම්මා මට කියපු කතාවක්. ඒක ඇත්තටම අම්මට කියල තියෙන්නේ සීයා.. මේ ලෝකේ ලොකු ම ප්‍රශ්නය, නරක මිනිසුන්ගේ නරක වැඩ නෙවෙයි, හොඳ මිනිසුන්ගේ නිහඬ කම කියලා.. හොඳ නරක කෙසේ වෙතත්, අසාධාරණයක් ඉදිරියේ නිහඬව ගන්න උපාධියක මට ඇති වටිනාකමක් නැති බව මම එතුමාට කියුවා.. ඒ වගේ ම මම ආයෙමත් ඇතුළට ගිහින් උපාධිය ගන්නෙ නැතුව වර්ජනය කලොත් මාව තියා ගත්ත එතුමාත් කරදරයේ වැටෙන බව කියලා මම ශාලාවෙන් එළියට ආවා.. එතකොට මට ඇහුණා එතුමා අනික් අයත් එක්ක රිබන් ගලවපු එක විවේචනය කරනවා.. මට හරිම සතුටක් දැනුණා එතුමා මට අහුම්කන් දුන්න එක ගැන සහ මම එතුමාගේ අදහස අහන්න එතන හිටපු එක ගැනත්.


මේ අතරමග දී මගෙන් කළු පටි උදුර ගත්තු තැන දී නැවතත් තවත් පුද්ගලයෙක් මගේ කලු පටිය හැමෝටම පෙන්නලා උදුරන්න ආවා.. මම ඒ වෙලේ තදින් ම කියුවා, ඔව් මම කලු පටිය බැඳ ගෙන ආවේ මගේ විරෝධය නිහඬව සංකේතාත්මක ව පෙන්නන්න.. ඒකට වත් ඉඩක් නැති නිසා මම මේ පිට වෙලා යනවා කියලා.. කොහොම හරි මායි මිතුරායි දෙන්නා ම එළියට ගියා.. මිතුරා විශ්වවිද්යාලයේ ආචාර්ය මණ්ඩලගේ සාමාජිකයෙක් නිසා, එයා එළියට යන එක ගැන කාටවත් ප්‍රශ්නයක් තිබ්බේ නෑ.. ඒ නිසා කිසිම කෙනෙකුට හේතු දක්වන්නේ නැතුව එයා නන් නිහඬව ම එලියට ගියා..

අපට කලින් අවුරුදු තුනෙන් උපාධිය ගත්ත මිතුරෙක් අපට සුභපතන්න උපාධි ප්‍රදානෝත්සවයට ඇවිත් සිටියා.. එයත් එක්ක එළියේ කතා කර කර ඉන්න කොට, උප කුලපති තුමිය එතැනින් ගියා උත්සවයට සහභාගී වෙන්න.. එක පාරට සුදු ඇඳ ගත්ත කෙනෙක් ඇවිත් කියුවා උප කුලපති තුමිය අපට කතා කරා කියලා.. මිතුරාත් මමත් එතනට ගිහින් එතුමියට ආචාර්ය කරනවාත් එක් කම එතුමිය මම ගියපු පාසල ගැන ඇසුවා.. ඒ අහපු වෙලේ ම මට උප කුලපති තුමියත් එක්ක පුදුම කලකිරීමක් ආවේ.. විද්වත් සංවාදයකට මුලපුරන කෙනෙක් කිසිම වෙලාවක අහන් නැති ප්‍රශ්නයක් ඒක කියල මට හිතුණා.. මම මගේ පාසල ගැන කියපු වහාම එතුමිය කියුවා කොළඹ ඉස්කෝලයකට ගිහින් මේ හැසිරෙන විදිහ ලැජ්ජායි කියලා. මට ඒ වෙලේ හිතා ගන්න බැරි උනේ අපි හැසිරිච්ච විදිහ දකින්නෙ වත් නැතුව එක්වර ම දෝෂාරෝපණය කරන්න ගත්තු එකයි. මම ඒ වෙලේ උත්සහ ගත්තා අපි එළියට ආපු හේතුව පැහැදිලි කරන්න.. එතුමිය එවර මගෙන් විමසුවා මගේ උපාධියට මුදල් ගෙවුවේ කවුරු ද කියලා.. මගේ උත්තරය උනේ රජයට මිනිසුන්ගෙන් ලැබෙන සල්ලි වලින් කියලා.. එහෙනම් මෙහෙම හැසිරෙන්න අපට බැහැ කියලා එතුමිය කියුවා.. තව දුරටත් එතුමිය අපට කියුවේ අපි විශ්වවිද්‍යාලයට කැලලක් කියලයි.. එතුමිය අපි ගැන ලැජ්ජාවන බවත් වහාම එතැනින් පිටත් වෙන්න කියලත් අපට කියුවා.. මට කිසිදු ආකාරයකින් නැවත හේතු ඉදිරිපත් කිරීමට අවස්තාව නොලැබුනේ එතුමිය එතනින් ඉක්මනට පිටවී ගිය නිසායි. මට තේරුණ විදිහට එතුමියගේ තර්කය උනේ රජයෙන් අපේ උපාධියට ගෙවන නිසා අපට රජයේ තීරණ වලට පිටු පාන්න බෑ කියලයි.. ඒ උනත් රජයට මුදල් ගෙවන්නෙ රටේ ජනතාව නිසාත්, මම, මගේ දෙමාපියන් ඇතුළු මුදල් ගෙවන තව බොහෝ දෙනා මෙම පත්වීමට අකමැති නිසාත් මම එතුමියගේ තර්කයට එකඟ නෑ..

ආයෙමත් අපි එතැනින් යන කොට සුදු ඇඳ ගත් පිරිසක් අපි ගාව ට ආවා.. එතකොට නන් දැකලා පුරුදු මුහුණු ගොඩක් තිබ්බා.. අපි විශ්ව විද්‍යාලයට යන කාලයේ හිටපු මාර්ෂල්ලා.. මාර්ෂල්ලාත් කියුවා අපි මෙහෙම එලිය ට ආපු එක විශ්වවිද්‍යාලයට කැළලක් කියලා.. එතකොට මාත් එක්ක හිටපු මිතුරා නන් කියුවේ විශ්වවිද්‍යාලයේ ගෞරවය නැති කරන්නේ අපි නෙවෙයි නුසුදුස්සන් කුලපති වශයෙන් පත් කරන එකෙන් කියලයි. මර්ෂල්ලා කියුවා ඒගොල්ලන්ට ආයතනයක තීරණ වලට එරෙහි වෙන්න අයිතියක් නෑ.. ඒගොල්ලන් ක්‍රියාත්මක කරන්නේ උප කුලපති තුමිය කියපු එක.. ඒ නිසා දෙමාපියන් ව එලියට ගෙන්න ගන්න කියලා ශාලාවෙන්.. එහෙම කරේ නැත්තන්, අපේ නම් නිවේදනය කරලා දෙමාපියන්ට එලියට යන්න කියනවා කියලා.. මේ අතර තවත් මාර්ෂල් වරයේ ඇවිත් කියුවා, උප කුලපති තුමිය නැවත හමු වෙලා කතා කරන්න කියලා.  ආසියානු විශ්වවිද්‍යාල සන්ධානයේ තරුණ සංසදය 2019 අපේ විශ්වවිද්‍යාලයේ පවත්වපු වෙලේ උප කුලපති තුමිය එක්ක  වැඩ කර තිබූ නිසා එතුමිය ගැන මට තිබ්බේ පැහැදීමක්.. එතුමිය කලින් හරියට හොයල බලන්නෙ නැතුව බැනගෙන ගියපු නිසා මම හිතුවා දැන් මේ අඬ ගහනවා ඇත්තේ අපේ අදහස දැන ගන්න වෙන්න ඇතී කියලා.. එතුමියට අපි ගැන තිබුණ වැරදි අවබෝධය නැති කරන්න කියලා හිතා ගෙන මම තීරණය කළා නැවත එතුමි හමු වෙන්න.. මගේ මිතුරාගේ දෙමාපියන් තවමත් ඇතුළේ හිටපු නිසා, එතන ප්‍රශ්නය විසඳ ගන්න ඔහු එතන ම රැඳී සිටියා..

මාර්ෂල් වරයා මාව රැගෙන උප කුලපති තුමිය හමුවීමට ගියා.. ඇය මාව අපේක්ෂාවෙන් සිටි අතර එහි UCSC හි අධ්‍යක්ෂතුමා ද සිටියා.. ඇය මට වාඩි වීමට අසුනක් ලබා දී පවසා සිටියේ කිසිදු දිනක කිසිවෙකුත් උපාධි ප්‍රදානෝත්සවයට පැමිණ උපාධිය නොගෙන පිටවී නො ගිය බවත්, උපාධිය මට වෙනම ගත හැකි බවත්, මම හැසිරිච්ච ආකාරය උපාධියේ සඳහන් කරන බවත්, මම ප්‍රදානෝත්සවයට සහභාගී නොවන නිසා ලෝගුව නැවත භාර දී පිටවී යන ලෙසත් ය. ඉන් පසු මම කතා කිරීමට විනාඩියක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.. එවිට ඇය මගෙ අවසරයෙන් එය පටි ගත කිරීමට පටන් ගත්තා.. මම පවසා සිටියේ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ලෙස මම කිසිදු ආකාරයක අවහිරයක් නොවන පරිදි කටයුතු කල බවත්, විද්‍යාර්ථීයෙක් විදිහට මගේ මතය වෙනුවෙන් පෙනී සිටින බවත් ය.. ඇයගේ තර්කය වූයේ, රටේ පවතින වාතාවරණය යටතේ ඇය විශාල අවදානමක් ගෙන ළමයින්ගේ බලවත් ඉල්ලීම මත උපාධි ප්‍රදානෝත්සවය පවත්වන බවත්, ඇය සියලු උත්සව වාර වලට සහභාගී වීම නිසා ඇයට පවතින අවදානම වැඩි බවත් ය.. ඇයට මා වැනි අයගේ අදහස් විමසීමට වෙලාවක් නොමැති බවත්, මා වැනි අය මෙවැනි දේ කර, බොරුවට සෝශල් මීඩියා දමා විශ්වවිද්‍යාලය අපකීර්තිමත් කරන බවටත් ඇය මට චෝදනා කළා.. මම එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර මට තවදුරටත් කතා කිරීමට ඉඩ නොලැබුනි.. ඇය තව දුරටත් පවසා සිටියේ ලෝගුව නැවත භාර දෙන ලෙසයි.. මම ඇයගෙන් ඉල්ලා සිටියා දෙමාපියන් සමඟ පින්තූර නොගත් බැවින් පින්තූර රැගෙන එය භාර දීමට.. එම ඉල්ලීම ඇය ප්‍රතික්ෂේප කළා.. ඒ මොහොතේ මට හිතුණේ, උප කුලපති තුමිය මට කතා කළ විදිහ ඉතාමත් අවමන් සහගත බවයි.. මම වැනි අය යැයි කියා එතුමිය විසින් හදා ගත්ත රාමුවකට මාව කොටු කරලා ඉතා පටු දැක්මක් ඔස්සේ මාව විවේචනය කල එතුමිය ගැන මට ඇති උනේ කලකිරීමක්.. උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීමට මම නිසා ඇයට ප්‍රමාද වීමට ඉඩකඩ ඇති නිසා මම එයින් පිට වුනා..
 
සාරියක් ඇඳ ගත්ත කාන්තාවක් එතනට පැමිණ මගෙන් ලෝගුව ඉල්ල ගත්තා.. ඇය මගේ නමත්, විභාග අංකයත්, ආසන අංකයත් සටහන් කර ගෙන මිතුරාගේ ද විස්තර අසා සිටියා.. මම ඇයට කියා සිටියේ එය ලබා දීමට මට අයිතියක් නොමැති බවයි. තව දුරටත් ඇය මගෙන් ලිපියක් ඉල්ලා සිටියා ලෝගුව භාර දීම සම්බන්ධව.. මම ලිපියෙන් කියා සිටියේ මගේ පෞද්ගලික විශ්වාසයන් නිසා මම උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි නොවන බවත්, උප කුලපති තුමියගේ ඉල්ලීම පරිදි නැවත ලෝගුව භාර දෙන බවටත්, සහ ඇය සමඟ කතාව මීට වඩා හොඳ වාතාවරණයක සිදු වූවා නම් යැයි පතන බවත් ය.

අන්තිමේ දී මම ප්‍රධාන ගොඩනැගිල්ලෙන් පිටතට ආවේ උපාධියවත් ලෝගුවවත් නොමැතිවයි. නමුත් මගේ හෘද සාක්ෂියට එක්කඟ ව කිසිම අයෙකුට කරදරයක් අවමානයක් වන ආකාරයට කටයුතු නො කර, මම හරියයි විශ්වාස කරන මතය වෙනුවෙන් පෙනී සිටීම ගැන මට මං ගැන ම තිබෙන අභිමානය මට ඉතුරු උනා..

https://www.azquotes.com/vangogh-image-quotes/31/41/Quotation-Elie-Wiesel-There-may-be-times-when-we-are-powerless-to-prevent-31-41-36.jpg

Comments

Popular posts from this blog

Flow Charts

ධර්මය, ආක්‍රමණය හා යුද්ධය

ආගමක් නැති මනුස්සයෙක්